දිල්ලියේ වායු දූෂණය තවත් දරුණු අතට

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ වාතයේ ගුණාත්මක භාවය දරුණු මට්ටමට පිරිහි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරන ලද ආරක්ෂිත අවම සීමාව මෙන් 30-35 ගුණයක පරිසර දූෂණ මට්ටමක් දිල්ලිය සහ එහි අවට නගර වලින් වාර්තා වනවා .

විශේෂඥයන් පවසන්නේ ඉදිරි දිනවලදී තත්ත්වය තවත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි.

ස්විට්සර්ලන්තය පදනම් කරගත් වායු තත්ත්ව දර්ශකය (AQI) නිරීක්ෂණ කණ්ඩායමක් වන IQAir ට අනුව, බදාදා (13) උදෑසන දිල්ලියේ ප්‍රදේශ කිහිපයක පරිසර දූෂණ මට්ටම 500 සීමාවට ළඟා වී තිබෙනවා .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුව, AQI අගය 100 හෝ ඊට අඩු වාතය ආශ්වාස කිරීම සඳහා තෘප්තිමත් යැයි සලකනු ලබන අතර, 400-500 පරාසයේ කියවීම් පෙන්නුම් කරන්නේ ප්‍රදේශයක දූෂණ මට්ටම් “දරුණු” බවයි.

අඩු දෘෂ්‍යතාවයක් හේතුවෙන් දිල්ලියට සහ ඉන් පිටවන ගුවන් ගමන් අවලංගු කිරීම හෝ ප්‍රමාද වීම ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

සෑම වසරකම, දිල්ලි සහ ඉන්දියාවේ උතුරු ප්‍රාන්ත ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා වූ කාලයේ දී මෙලෙස දැඩි වායු දූෂණ තත්ත්වයක් අත්දකිනවා .