ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරයි

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත් ය.

මේ අතර කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර මාධ්‍ය අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, 

“ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර SDIG ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා.”