පිංබර වප් පොහෝ දිනය අදයි

මේ වසරේ දසවැනි පොහෝ දිනය වන වප් පොහෝ දිනය අදට (17) යෙදී තිබෙනවා .

ශාසනික මෙන්ම ඓතිහාසික වැදගත්කමකින් යුතු සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස අද දිනය සැලකිය හැක .

වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කථින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද වප් පුර පසළොස්වක පොහොය දිනය වනවා .

තෙමසක් පුරා මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩමවීම අද වැනි පොහෝ දිනක සිදුව ඇති බව සඳහන්ය.

මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම සහ විවරණ ලැබීම ද අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

සංඝමිත්තා තෙරණිය සහ ජය ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවීම සඳහා අරිට්ට අමාත්‍යවරයා දඹදිවට පිටත්ව යාම සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

සියලු සත්ත්වයා සුවපත් වන පිංබර වප් පොහෝ දිනයක් වේවා !