ගංවතුරත් සමඟ ආ බෝවන රෝග අවදානම

ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

පාචනය, ලේ අතීසාරය, මී උණ හා පණු රෝග මෙසේ වැළඳීමේ හැකියාවක් ඇති බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

එවැනි රෝග ලක්ෂණ වේනම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර සෑම විටම නැවුම් ආහාර පමණක් ලබාගැනීමට කටයුතු කරන්නැයිද එම සංගමය උපදෙස් දෙනවා.

එමෙන්ම ආහාර උණුවෙන් සකස් කර පරිභෝජනයට ගත යුතු බවද එම සංගමය සදහන් කරනවා.

නිරතුරුවම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙසත් නැතිනම් සුදුසු පානීය බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවද එම සංගමය ජනතාවට දන්වනවා.

මේ අතර ශරීරයේ යම් කිසි තුවාලයක්, සීරිමක් සිදුව ඇත්නම් එය ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැළඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකි බවයි අවධාරණය කරන්නේ.

එබැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.