5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය මෙන්න

මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළා.
 
ඔහු සඳහන් කළේ අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවය.

මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේය.

අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත  මෙම පියවර ගත් බවය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා .

එහි දී මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරක් අත්අඩංගුවට ගැනුණු අතට ඔවුන් මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගියදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.