වැඩි කළ පොහොර සහ ඉන්ධන සහනාධාරය නවතී

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000 ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ.

ඒ අනුව අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව මහ මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.

එම කොමිසම පෙරේදා රැස්වූ අවස්ථාවේදිය මෙම තීරණය ගෙන ඇත්තේ.

මහ කන්නයේ වී ගොවින් සඳහා හෙක්ටයාරයකට රුපියල් විසි පන්දහසක දීමනාවක් ලබාදීමටත්, ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහ භාණ්ඩාගාරය වෙත පසුගිය 26 වනදා උපදෙස් දෙනු ලැබුවා .

ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීමටත්, බහුදින හා එක්දින යාත්‍රා සඳහා මාසික පදනමින් ඉන්ධන සහනාධාරය ලබාදීමටත් නියමිතව තිබුණා.