ඩොලර් මිලියන 55කට විකිණෙන වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම නිවහන

කලක් වික්ටෝරියා රැජින වාසය කළ බවට සඳහන් ඇයගේ ප්‍රියතම ඓතිහාසික Tuscan villa ඩොලර් මිලියන 55කට (දළ වශයෙන් රුපියල් කෝටි 460) විකිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටා ඇති මෙම විලා එක වර්ග මීටර් 4,000කට ආසන්න ප්‍රමාණයකින් යුක්ත වන අතර, හෙක්ටයාර් නවයක (අක්කර 22) උද්‍යාන භූමියක් මධ්‍යයේ පිහිටුවා ඇති එය නගරයේ දෙවන විශාලතම උද්‍යානයයි.

එහි නිදන කාමර 23ක්, නාන කාමර 19ක්, ටෙනිස් පිට්ටනියක්, හෙලිකොප්ටරයක් ​​නැවත්වීම සඳහා භූමියක් සහ පිහිනුම් තටාකයකින් සමන්විතයි.

එමෙන්ම 14 වන ශතවර්ෂයේ ඉදිකරන ලද මෙහි 19 වන සියවසේ අගභාගයේදී වික්ටෝරියා රැජින ඇතුළු විවිධ කැපී පෙනෙන හිමිකරුවන් සිට තිබෙනවා.

ඇය නැවතී සිටින කාලය තුළ, ඇයගේ නැසීගිය සැමියා වන ඇල්බට් කුමරුගේ පින්තූර, ඇඳන්, හාන්සි පුටු, සෝෆා, ලිවීමේ මේසයක් ඇතුළුව තවත් භාණ්ඩ කිහිපයක් විලා වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

එමෙන්ම තවමත් ඇගේ නවාතැනට ගෞරව කිරීම පිණිස ඵලක සහිත ගස් කිහිපයක් උයනේ ඇති බව සඳහන්.