සංවර්ධන නිලධාරීන් පාසල්වල ගුරු සේවයට

රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන සියලු දෙනා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

එහිදී ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා මේ වනවිට ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීම සඳහා එම පෙත්සම් කැඳ වූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් මෙම දැනුම්දීම කරන ලදී.