හිරු නැගීම – 05 : 59
හිරු මුදුන් වීම – 12 : 14
හිරු බැසීම – 18 : 29
අද ජූලි මාසේ දහවෙනිදා, බදාදා.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද Global Energy Independence Day එක. අපි බලශක්තිය වෙනුවෙන් ප්‍රධානව භාවිතා කරන්නේ පොසිල ඉන්ධන නේ. දශක ගණනාවක ඉඳන් අවිධිමත් විදිහට මේ පොසිල ඉන්ධන භාවිතා කරමින් යන හින්දා, මේ වෙනකොට පොසිල ඉන්ධන අවසන් වෙමින් යනවා.
මේක ඇත්තටම විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ඒ නිසාම මිනිස්සු මේ වෙනකොට සූර්යය බලය, විදුලි බලය වගේ විකල්ප බලශක්ති ක්‍රම භාවිතා කිරීම වැඩි කරන්න පියවර අර ගනිමින් යනවා. මොකද මේ ඉහළ යන අවශ්‍යතා එක්ක පොසිල ඉන්ධන ඉවර වෙන දවස වැඩි ඈතක නෙමෙයි.
බැරි වෙලාවත් ඛනිජ තෙල් තියෙන රටවල් තෙල් අපනයනය නතර කළොත් එහෙම මේ ලෝකේ කොච්චර විදිහට කඩා වැටෙයි ද.. රටවල තියෙන ගබඩා කර ගත්ත තෙල් ටිකත් ඉවර වුණාම බොහොමයක් අංශ වසා දාන්න වෙයි. ඩීසල් බලාගාර වලින් නිපදවෙන විදුලිය නැත්තටම නැති වෙයි, මිනිස්සුන්ගේ ගමනාගමනය ඇන හිටලා 99% ක් ම දේවල් කඩා වැටෙයි.
ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න නැති වෙන්න තමයි විකල්ප බලශක්ති භාවිතය ප්‍රචලිත කරන්න ඕනි. එහෙමයි කියලා න්‍යෂ්ටික බලාගාර හැම රටකටම විසඳුමක් වෙන්නේ නැහැ.
විකල්ප බලශක්තියෙන් ඒ දේවල් ඔක්කොම යතා තත්ත්වයට පත් වුණේ නැති වුණත් ඒකෙන් වෙන හානිය අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් මේ උදාහරණය අනෙක් දේවල් වලටත් ගලපලා බලන්න. අපි කොච්චර අනෙක් අයගෙන් යැපෙනවා ද.. කෙටියෙන් කියනවා නම් අපි කන කෑම එක සහ බොන වතුර එකත් අපිට තව කෙනෙක් දෙනකම් ඉන්න ඕනේ. දැන් ඔබ කියයි සල්ලි දෙනවා නේ කියලා.. එයාල දෙන එක නතර කලොත් ඔයාගේ ගෙදර සල්ලි පුරෝලා කාමරයක් තිබුණත් වැඩක් තියෙනවද? එතකොට අහන්න වෙන්නේ සල්ලි කන්නද කියලා තමයි…
ඒ නිසා එක ගහක් හරි ගෙදර වත්තේ හිටවා ගන්න… පොඩි දෙයක් වුණත් කමක් නැහැ…
එහෙනම් අදට මෙච්චරයි… අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

