තාරා දෙව්දුව යළිත් ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානියේ ඇති මෙරටට අයත් පෞරාණික පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත මෙරටට ලබා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තාරා දෙව්දුවගේ පිළිමය යනු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රි.ව. 08 වන සියවසට අයත් තාරා දේවි බෝධිසත්ත්ව වරියගේ රන් ආලේපිත ලෝකඩ පිළිමයක් වන අතර, යටත් විජිතයක්ව පැවති 1830 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ලබා දී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින්.

වරෙක මෙම ප්‍රතිමාව, මුර දේවතාවි පත්තිනි දේවියගේ මූර්තියක් ලෙසින් සැලකුණු නමුදු, දැන් එකඟතාවයකට එලඹ ඇත්තේ ප්‍රතිමාව තාරා දේවියගේ බවයි.

මූර්තියෙන් පිළිඹිබු කෙරෙනුයේ, ඉටි මැකුම් ක්‍රමය භාවිතයෙන් ඝන ලෝකඩයෙන් වාත්තු කරන ලද දෙවඟනකගේ හිටි පිළිමයකි.

දහනවවන සියවසෙහි මුල් අවදියේදී මෙම පිළිමය අහම්බෙන් හමුවී තිබෙනවා.