2024 – 07 – 03

හිරු නැගීම – 05 : 57

හිරු මුදුන් වීම – 12 : 13

හිරු බැසීම – 18 : 28

අද ජූලි මාසේ තුන්වෙනිදා, බදාදා.

අද මේ මාසේ පලවෙනි බදාදා දවස. අපි හැමෝටම ජිවිතේ පලවෙනි දවස කියලා දෙයක් හැම දෙයකටම තියෙනවා. අපි ඉස්කෝලේ ගිය පලවෙනි දවස, රැකියාවට ගිය පලවෙනි දවස, එයාව දැක්ක පලවෙනි දවස වගේ. මේ පලවෙනි දවසේ විශේෂත්වය අපිට වැඩිපුරම දැනෙන්නේ මේ දේවල් කරන අන්තිම දවස වෙනකොට, එහෙමත් නැත්නම් ටිකක් දේවල් පරණ වෙනකොට.

මතකද ඉස්සෙල්ලම ඉස්කෝලෙට යනකොට එහෙමත් නැත්නම් කැම්පස් හරි රැකියාවට හරි යනකොට දැනුනු හැඟීම? නුපුරුදු ලෝකයක අතරමන් වෙලා වගේ අමුතු හැඟීමක් ඔයාටත් දැනිලා ඇති. අපි එදා ඒ පලවෙනි දවසේ අපිට මුහුණ දුන් අභියෝගය සාර්ථවක ජය ගත්ත නිසා තමයි අද අපි මෙතන ඉන්නේ.

එහෙමත් නැත්නම් ඒ පලවෙනි දවසේ දැනුනු බයට, එහෙමත් නැත්නම් ඒ අමුතු හැඟීමට යටත් වෙලා ඒ පලවෙනි දවසම අන්තිම දවස කර ගත්තොත් අපිට මෙච්චර ලොකු ගමනක් එන්න වෙන්නේ නැහැ.

දේවල් පටන් ගන්නකොට හැමෝගෙම හිතේ ඒ ගැන ප්‍රතිරෝධයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපි වෙනස් වෙන්න අකමැති ජීවින් පිරිසක් නේ… ඉතින් ගෙදර ආතල් එකේ ඉන්න එක වෙනස් කරලා රකියාවට කැම්පස් එකට යන එකට මුල් ටිකේ හිත බෑ කියනවා. ඒක කොහොම හරි කා ගෙන දිගටම ඒක කළොත් විතරයි සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ.

ඒ නිසා ඔයාට එක පාරටම හිතෙන දැන් ඇති, මට බෑ කියන සිතුවිලි වලට ඔයාගේ ජිවිතේ වෙනස් කරන්න ඉඩ දෙන්න එපා. ඔයාට බැරි දෙයක් නැහැ, ඔයාට පුළුවන්.

ඔයා ඒ අවස්ථාවේ තියෙන හොඳ නරක ගැන හිතලා බලලා තීරණයක් ගන්න, කලබල වෙලා හිත කියන හැම දේම කරන්න යන්න එපා. හිත කියන දේ හරිම අමුතු දෙයක් නිසා, මොලයෙන් හිතන්නේ නැතුව හිත කියන දේවල් කරන්න යන්න එපා…

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද International Plastic Bag Free Day එක. ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට විශාල අර්බුධයක් බවට පත් වෙලා තියෙන දෙයක්. මේ දේවල් ස්වාභාවිකව දිරාපත් වෙන්නේ නැතුව අවුරුදු ගණනාවක් තිස්සේ පොළොවේ, සාගරයේ එකතු වෙලා තියෙනවා. ප්ලාස්ටික් පොලිතීන් නිසා විශාල පරිසර දූෂණයක් සිදු වෙනවා වගේම මේවා ආහාරයට ගැනීමෙන් සතුන් විශාල ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත් වෙනවා.

අපේ ශරීරයටත් මේ දේවල් නිසා ඉතා දරුණු බලපෑමක් තියෙනවා. මේ වෙනකොට කරන පරීක්ෂණ වලින් මයික්‍රෝ ප්ලාස්ටික් අපේ ශරීරයේ විවිධ ස්ථාන වලින් හඳුනා ගෙන තියෙනවා. මේකේ තියෙන දරුණුකම තමයි මව්කිරි වල පවා මේ මයික්‍රෝ ප්ලාස්ටික් හඳුනා ගෙන තියෙනවා.

ඉතින් පුළුවන් තරම් ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කරන්න, හැමදේම නැවත නැවත පාවිච්චි කරන්න යොමු වෙන්න. එහෙම නැත්නම් ඉස්සරහට මේ දේවල් තවත් විශාල අර්බුධ ඇති කරනවා.

ඒ වගේම අද  Chocolate Wafer Day  එකත් වෙනවා…

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!