රස්නේ කාලෙට හරියන කෝමාරිකා ෆේෂල්

මේ දවස් වල තියෙන අධික උණුසුම් කාලගුණය නිසා අපේ සම වියලි වෙන එක සාමාන්‍ය දෙයක්. රස්නෙත් එක්ක ගොඩක් අපිට දහදිය දානවා, ඒ නිසා මුහුණට වගේම ශරීරයටත් විවිධ ආලේපන භාවිතා කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. අපේ මුහුණේ තියෙන pores අපි භාවිතා කරන ආලේපන වලින් අවහිර වුණොත් එතන pimples එකක් වගේ එන්න බලනවා.

ඒ නිසා ගොඩක් රසායන ද්‍රව්‍ය එහෙම තියෙන සහ ගොඩක් heavy ආලේපන වර්ග මේ වගේ කාල වලට ගැලපෙන්නේ නැහැ. ගොඩක්ම ස්වාභාවික සැහැල්ලු දෙයක් තමයි මේ රස්නේ එක්ක අපි භාවිත කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ.

අද අපි අර ගෙන ආවේ කෝමාරිකා භාවිතා කරලා කරන, ඔයාගේ මුහුණ ලස්සන කරලා නැති වෙලා ගිය තෙතමනය ආයෙමත් ලබා දෙන්න පුළුවන් ෆේෂල් එකක්.

මේ ෆේෂල් එකේදි පියවර තුනක් තියෙනවා.

1. ස්ක්‍රබ්
2. මසාජ් ජෙල්.
3. පැක්.

මේ පියවර තුන පිළිවෙලට follow කරන්න ඕනේ. අපි මුලින්ම මේ දේවල් හදාගෙන ඉමු.

කෝමාරිකා ජෙල් එක

කෝමාරිකා පිති දෙකක් අරගෙන සෝදා පිරිසිදු කර මදය භාජනයකට වෙන්කර ගන්න ඕනෙ. ඊටපස්සෙ පසුව සූරගත්ත මදය හොඳින් බ්ලෙන්ඩ් කරගෙන ජෙල් එක හදාගන්න.

ස්ක්‍රබ් එක

මේ ස්ක්‍රබ් එකට අවශ්‍ය වෙන්නේ කෝමාරිකා ජෙල් සහ හාල් පිටි විතරයි. හාල්පිටි මේස හැන්දක් සහ කෝමාරිකා ජෙල් මේස හැඳි දෙකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ස්ක්‍රබ් එක හදාගන්න

මසාජ් ජෙල්

පිරිසිදු භාජනයක් අරගෙන කෝමාරිකා යුෂ මේස හැන්දක් එයට එකතු කරගන්න. මේ මසාජ් ජෙල් එකට අපිට විටමින් E කරලක් එකතු කරගන්න පුළුවන්. මේ දේවල් හොඳින් මිශ්‍ර කර මසාජ් ජෙල් එක හදාගන්න.

පැක් එක

තවත් පිරිසිදු භාජනයක් ගෙන කඩල පිටි මේස හැන්දක්, කස්තුරි කහ මේස හැඳි කාලක්, කෝමාරිකා යූෂ මේස හැඳි දෙකක් එකතු කර හොඳින් කලවම් කරගන්න. මුලින්ම මේ දේවල් හදාගෙන තියාගත්තම ඔයාට පියවරෙන් පියවර එක දිගට ෆේෂල් එක කරගෙන යන්න ලේසියි.

ෆේෂල් එක කරන විදිහ

ස්ක්‍රබ්

මුලින්ම මුහුණ හොඳින් පිරිසිදු කර ස්ක්‍රබ් එක ඇඟිලි තුඩුවලට අරගෙන මුහුණේ හැම තැනකම ආලේප කරන්න. ඊටපස්සෙ උඩු අතට හොඳින් ස්ක්‍රබ් කරගන්න. විනාඩි දෙකක් විතර ඇගිලිතුඩු තද නොකර තමයි ස්ක්‍රබ් එක කරගන්න ඕනෙ.

සමේ තියෙන අඳුරු පැහැය නැතිකරන්න, මැරුණු සෛල ඉවත් කරන්න වගේම මූණෙ තැන්පත් වෙලා තියෙන කුණු දූවිලි ඉවත් කරන්න හාල් පිටි සහ කෝමාරිකා සාරයට පුළුවන්.මූණේ කුරුලෑ ඇතිවෙන්න පුළුවන් මූලිකම දෙයක් තමයි මුහුණේ තෙල් සහිත බව. ඒ තෙල් ගතිය පාලනය කරන්නත් මේ ස්ක්‍රබ් එකට පුළුවන්. ඒ වගේම ඕනෑම සමකට කෝමාරිකා ස්ක්‍රබ් එක සුදුසුයි. විනාඩි දෙකක් විතර ස්ක්‍රබ් කළාට පස්සෙ ඇල් වතුරෙන් සෝදාහරින්න.

මසාජ් ජෙල්

ස්ක්‍රබ් කරපු මූණ හෝදගත්තට පස්සේ මසාජ් ජෙල් එක අරගෙන මූණෙ හැමතැනම ආලේප කරලා විනාඩි පහක් විතර මසාජ් කරන්න ඕනේ. ස්ක්‍රබ් කරපු විදිහට උඩු අතටම තමයි මසාජ් කරන්න ඕනෙත්. මූණ හොඳට මසාජ් කරනකොට රුධිර ගමනාගමනය ක්‍රමවත් වෙනවා. මූණ පැහැපත් වෙන්න ඒක ගොඩක් වැදගත්.

සාමාන්‍යයෙන් පැක් එකක් පාවිච්චි කරන්න කලින් සහ ස්ක්‍රබ් එක කළාට පස්සේ මසාජ් ජෙල් එකක් ගාලා මසාජ් කරන්නේ ඒ නිසයි. මොකද පැක් එකේ තියෙන ගුණය සහ සාරය සමට හොඳින් උරාගන්න මසාජ් එක ප්‍රයෝජනවත් වගේම මේ මසාජ් ජෙල් එකේ විටමින් E තියෙන නිසා සමේ තරුණ බව වැඩිකර සම පැහැපත් වෙනවා. ඇස් යට කළු වීමටත් මසාජ් ජෙල් හොඳ විසඳුමක්. මසාජ් ජෙල් එක ගෑවට පස්සේ මූණ හෝදන්නෙ නෑ. පිරිසිදු තුවායක් අරගෙන උඩින් තෙත මාත්තු කරගන්නවා විතරයි. වතුර පොඩ්ඩක්වත් ගාන්න එපා.

පැක් එක

ඇඟිලි තුඩුවලට පැක් එක අරගෙන ඝණට මුහුණෙ ආලේප කරගන්න. කස්තුරි, කහ, කඩල පිටි, කෝමාරිකා එකතු වුණු මේ පැක් එකෙන් පුළුවන් ඔයාගේ මූණට ලස්සන පැහැයක් වගේම නැවුම් බවක් ලබා දෙන්න. පැක් එක හොඳට මූණෙම වේලෙනකල් පැය බාගයක් විතර තියන්න. මේ අතරතුරේ කතා කරන්න, කෑම කන්න යන්න එපා.

ෆේෂල් එකක් කරනකොට නිදහසේ වෙලාව අරන් කරන්න ඕනේ. ඒ නිසා වෙලාව අරන් තමයි හොඳට මේ පැක් එක ගානට මුහුණේ ගාගන්න ඕනේ. මූණෙ විතරක් නෙවෙයි බෙල්ල ප්‍රදේශයෙත් පැක් එක ගාලා පැය භාගයකට පස්සේ ඇල් වතුරෙන් සෝදාහරින්න.

මතක තියා ගන්න ඔයා මුහුණට භාවිතා කරන දේවල් බෙල්ලටත් ගාන්න. එහෙම නැති වුණොත් මුහුණ එක පාටක් සහ බෙල්ල එක පාටක් විදිහට පෙන්න පුළුවන්.

මේ කෝමාරිකා ෆේෂල් එක කරපු පළවෙනි දවසින්ම ඔයාට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. සතියට දවස් දෙක ගානේ මේ සත්කාරය කරල බලන්න.