2024 – 05 – 12

හිරු නැගීම – 05 : 53

හිරු මුදුන් වීම – 12 : 05

හිරු බැසීම – 18 : 18

අද මැයි මාසේ 12 වෙනිදා, ඉරිදා. අද හැමෝටම වගේ නිවාඩු දිනයක් වෙනවා.

අද mothers day එක ඒ කියන්නේ අම්මාවරුන්ගේ දවස කියලා තමයි නම් කරලා තියෙන්නේ. අම්මලා අපිට කරන දේවල් වල හැටියට නම් දවසක් නෙමෙයි අවුරුද්දේ හැම දවසම අම්මාවරුන්ගේ දවස විදිහට නම් කරන්න ඕනේ.

බුදු හාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙනවා දෙමව්පියෝ අපිට කරන දේවල් වල ණය, ඒ දෙන්නා මුළු ජිවිත කාලෙම අපේ උරහිස් දෙක උඩ තියා ගෙන කවලා පොවලා පෝෂණය කළත් ගෙවා නිම කරන්න බැහැ කියලා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න ඉස්සෙල්ලම ආශිර්වාද කාලෙත් උන් වහන්සේගේ අම්මා.

අම්මා අපි එයාගේ බඩට ආව දවසේ ඉඳන් කොච්චර දුක් විඳලා ද අපිව මේ ලෝකෙට බිහි කරන්නේ. සාමාන්‍ය විදිහට හෝ සිසේරියන් විදිහට යන කොයි විදිහට අපි ඉපදුනත් අම්මාට ඒක වේදනාවක්. මුල් කාලේ අපිව බඩේ තියා ගෙන, පස්සේ අපිව ඇහේ තියා ගෙන අම්මලා අපිව හදන්නේ. අපිට ආස දේවල් දීලා, සමහර වෙලාවට එයා කන්න ආස දෙයක් වුණත් නොකා, අපිව අම්මලා උස් මහත් කරන්නේ.

ඉතින් අද දවසේ විතරක් නෙමෙයි, හැම දවසකම අම්මලාව සතුටින් තියෙන එක අපේ යුතුකමක්.

අදට යෙදිලා තියෙන තවත් දවසක් තමයි ලෝක හෙද දිනය – International Nurses Day. අපි අසනීප වෙලා රෝහලක ඉන්නකොට අපිව බලා ගන්නේ හෙද හෙදියෝ. ඉතින් එයාල අගය කරන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ. 1965 වසරේ දී තමයි මුල් වරට මෙහෙම දිනයක් සමරලා තියෙන්නේ.

වර්තමාන හෙද සේවයේ නිර්මාතෘ ලෙස සැලකෙන Florence Nightingale ගේ උපන්දිනය යෙදෙන මැයි 12 වෙනිදා දවස තමයි පසුකාලයේ හෙද දිනය විදිහට නම් කරලා තියෙන්නේ. අදටත් හෙද හෙදියන් Nightingale oath එක දිව්රුම් දෙනවා.

ඒ වගේම අද International Day of Plant Health – ශාක සෞඛ්‍ය පිලිබඳ දිනය ලෙස නම් කරලා තියෙනවා. ශාක කියන්නෙත් මිනිස්සු සත්තු වගේ ජීවින් පිරිසක්. ඉතින් එයාලටත් විවිධ පෝෂණ ඌනතා, දිලිර ආසාදන හේතුවෙන් රෝග ඇති වෙන්න පුළුවන්.

ශාක නිසා තමයි මේ ලෝකේ පැවැත්ම රැඳිලා තියෙන්නේ. ශාක මඟින් අපිට ආහාර, ඔක්සිජන් ලබා දෙනවා. ඉතින් ශාක වලට හැදෙන ලෙඩ අදුර ගෙන ඒවාට පිළියම් කරලා ශාක සුවපත් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන්න තමයි අද දවස වෙන් කරලා තියෙන්නේ.

එහෙනම් අද නිවාඩු දවසේ ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න. විශේෂයෙන් ඔයාගේ අම්මා එක්ක වෙලාවක් ගත කරන්න.

තෙරුවන් සරණයි! ජය වේවා!