විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩවර්ජනය අඛණ්ඩව

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මකයි.

වැඩවර්ජනය ආරම්භ කර අදට දින 06 කි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී ඇත.

ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා බාහිරව අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් දැඩි අර්බුදකයකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.

වර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතු මෙන්ම විභාග කටයුතු ද කල් දැමීමට සිදුව තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, අදාළ ගැටලුවට විසඳුම් යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බවයි. 

ඔවුන් ඊයේ දිනයේත් සියලු රාජකාරිවලින් ඉවත්ව ලෙඩ නිවාඩු දමා රාජකාරිවලින් බැහැර විය.