පස්වරුවේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව , දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි වනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.