අවුරුදු කෑම මේසේ රස කරන්න ඔයාගේ අතින්ම පොල් ටොෆී හදමු

හෙට (13) උදා වෙන සිංහල හා දෙමල අලුත් අවුරුද්ද පිළිගන්න රටම දැන් හරි හරියට සූදානම් වෙනවා.

කැවුම්, කොකිස්, ආස්මි වගේ කැවිලි පෙවිලි ගොඩක් අය ගෙදර හදන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ, මොකද කොකිස් අච්චු ගැලවෙන්නේ නැහැ, හරියට පදම එන්නේ නැහැ සහ තෙල් තාච්චි ළඟ වාඩි වෙලා සෑහෙන්න වෙලාවක් ඉන්න ඕනි සෑහෙන්න කරදර තියෙනවා.

ඒ වුණත් ඔයාගේ අතින්ම ගෙදර පිරිසිදුවට මොනවා හරි හදන්න ඕනේ, එත් මොනවද හදන්නේ කියලා හිත හිත ඉන්න කෙනෙක් නම් ඔයා, ඔයාට තමයි මේ රෙසිපි එක අර ගෙන ආවේ.

පොල් ටොෆී කියන්නේ හැමෝම කන්න ආස, විශේෂයෙන් ලේසියෙන් හදා ගන්න පුළුවන් එකක්.

ඔයාට මේ රෙසිපි එකෙන් කිසිම කරදයක් නැතිව විනාඩි 30ක් වගේ පොඩි කාලයක දී පොල් ටොෆී 40ක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

පොල් ගෙඩි 1ක් (ග්රෑම් 425ක්)

සීනි ග්රෑම් 500

කිරිපිටි කෝප්ප 1/2

බටර් කෝප්ප 1/4

වැනිලා තේ හැඳි 2

ෆුඩ් කලරින් තේ හැඳි 1/4

ලුණු තේ හැඳි 1/4

වතුර 120ml

මේකේ ෆුඩ් කලරින් ඔයාට අවශ්‍ය නම් කඩේ තියෙන ඒවා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් බිට් රූට් වගේ දෙයකින් ගෙදරදීම හදා ගත්ත ඒවා භාවිතා කරන්නත් පුළුවන්.

එහෙනම් අපි දැන් බලමු කොහොමද අපේ පොල් ටොෆී හදා ගන්නේ කියලා,

මුලින්ම Pan එකක් රත් වෙන්න තියලා අපේ සීනි ටික ඔක්කොම ඒකට දා ගන්න ඕනේ.

ඊළඟට වතුර දාලා සීනි ටික දියවෙනකම් හොඳින් කලවම් කර ගන්න.

ඉතින් විනාඩි 10කට විතර පස්සේ සීනි ටික ඔක්කොම හොඳට දිය වෙලා වතුර එක බුබුළු දානවා ඔයාට පෙනෙයි.

ඊට පස්සේ අපේ පොල් ගෙඩිය හොඳට ගාලා අර ගෙන පොල් කුඩු ටික බ්ලෙන්ඩ් කරලා මේකට දාන්න ඕනේ.

ඒකටම ඔයාගේ රස අනුව ලුණු එහෙමත් දාල හොඳට කවලම් කරන්න.

පොල් ටිකත් දාලා විනාඩි 5 වගේ හැඳි ගානකොට ඔයාට තේරෙයි මිශ්‍රණය දිය ගතියට තියෙනවා.

දැන් අපේ කිරිපිටි ටිකත් මේකට දාලා ආයෙම විනාඩි එකහමාරක් වගේ හැඳි ගාන්න ඕනේ.

දැන් වැනිලා තේ හැඳි ත් දාලා ආයෙම විනාඩි 10ක් වගේ mix කරන්න ඕනේ.

ටික වෙලාවක් යනකොට ඔයාලට තේරෙනවා මිශ්‍රණය වේලි ගෙන යනවා වගේ, එතකොට බටර් ටික දා ගෙන ආයෙමත් කලවම් කරන්න තමයි තියෙන්නේ ඔන්න.

මේකේ තියෙන තෙල් ගතිය පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවා වගේ තේරෙනකොට අපේ ෆුඩ් කලරින් ටික මේකට එකතු කරන්න ඕනේ.

එකතු කරලා ආයෙමත් විනාඩි 10ක් වගේ හැඳි ගන්න ඕනේ. මතක තියා ගන්න මේ ඔක්කොම කරන්න ඕනේ අඩු ගින්දරේ.

ඔයාලගේ පොල් මිශ්‍රණය එක ගුලියක් වගේ නම් කලවම් වෙන්නේ, ඔයාලගේ මිශ්‍රණය හරිම පදමට ඇවිත් තියෙනවා.

ඉතින් එහෙම ආවම ලිප ඔෆ්‍ කරලා මිශ්‍රණය ටක් ගාලා tray එකකට දා ගන්න ඕනේ. දා ගන්න කලින් tray එකේ butter ටිකක් එහෙම ගාලා තියා ගන්න.

දැන් tray එකේ දාලා හොඳට තුනී කර ගන්න ඕනේ. spatula එකක් හරි කෙහෙල් කොලයක් හරි භාවිතයෙන් මෙහෙම තුනී කර ගන්න පුළුවන්. spatula එකක් භාවිතා කරනවා නම් ඒකෙත් බටර් ටිකක් ගාන එක හොඳයි.

හොඳට තුනී කර ගෙන ඉවර වුනාම කෑලි කපා ගන්න තමයි තියෙන්නේ. නිවෙන්න කලින් අනිවාර්යයෙන්ම කෑලි ටික කපා ගන්න. නැත්නම් හරිම අමාරු වෙනවා කපන්න.

කෑලි කපලා ඉවර වුණාම පැය 1ක් 2ක් මේක හොඳට නිවෙන්න තියන්න. ඊට පස්සේ කෑලි ටික වෙන් කරලා ගන්න පුළුවන්.

ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඔයා පුංචි කාලේ හරිම ආසාවෙන් කෑව පොල් ටොෆි ගෙදරදීම හදා ගන්න.

එහෙනම් අද අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ආස හිතෙයි..!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!