බංගලාදේශයේ ළමා විවාහ ඉහළට

නිවාස 308,000කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් බංගලාදේශ රජය විසින් සිදු කර ඇති සමීක්ෂණයකින් එරට ළමා විවාහ සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙනවා.

මෙම නිවාස වල සිටින වයස අවුරුදු 20ත් 24ත් අතර විවාහක කාන්තාවන්ගෙන් 41.6%ක ප්‍රමාණයක් වයස අවුරුදු 18ට ලඟා වීමට පෙර විවාහ වී ඇති බවයි ඔවුන් සොයා ගෙන ඇත්තේ.

2020 වසරේ දී ළමා විවාහ වාර්තා වීම 31.3% ක් ලෙස සටහන් වී ඇති අතර පසුගිය අවුරුදු තුනෙහි එය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි මෙම වාර්තා පෙන්නුම් කරන්නේ.

දුප්පත්කම, නිසි අධ්‍යාපනයක් නොමැතිකම සහ සංස්කෘතික හා සමාජ සම්මතයන් මෙලෙස බාල විවාහ ඉහළ යෑමට හේතු වී ඇති බවයි එරට රජය පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්, බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ගැහැණු ළමයින් ආර්ථික බරක් ලෙස සලකනු ලබන අතර ඔවුන් අඩු වයසෙන් විවාහ කර දීමෙන් පවුලේ ආර්ථික තත්ත්වය යම් ප්‍රමාණයකට යහපත් වන බවයි ඔවුන් සලකන්නේ.

2017 ළමා විවාහ සීමා කිරීමේ පනත යටතේ බංග්ලාදේශයේ විවාහ වීමේ නීත්‍යානුකූල වයස කාන්තාවන් සඳහා අවුරුදු 18 ක් සහ පිරිමින් සඳහා අවුරුදු 21ක් වනවා.