2024 – 03 – 25

හිරු නැගීම – 06 : 10

හිරු මුදුන් වීම – 12 : 15

හිරු බැසීම – 18 : 19

අද මාර්තු මාසේ 25 වෙනි සඳුඳා. මේ මාසේ තියෙන අන්තිම සඳුදා දවස තමයි අද.

අද සඳ 100%ක් එලිය දෙන සලොස්වක දවසක්. ඒ වගේම අද විශේෂත්වයන් ගොඩක් තියෙන දවසක්.

ඒ අතරින් ප්‍රධානම එක තමයි හෝලි උත්සවය. අපේ අසල්වැසි රටේ ප්‍රධාන උත්සවයක් තමයි මේ හෝලි කියන්නේ. මේකේ දී එක එක පාට වලින් පාට කුඩු, වතුර වගේ දේවල් වලින් එයාල විනෝද වෙනවා. ඉතින් හරිම ලස්සන විනෝදජනක වෙනස්ම අත්දැකීමක් තමයි හෝලි කියන්නේ.

නරක, අන්ධකාරය පරදවමින් යහපත, ආලෝකය ජය ගැනීම සංකේතවත් කරන්න තමයි මේ හෝලි සැමරුම් සිදු කරන්නේ.

ඒ වගේම අද වහල් වෙළඳාමට ගොදුරු වූ පුද්ගලයන් සිහි කිරීමේ දිනයත් වනවා. ඉස්සර කාලේ මිනිසුන් වහලුන් විදිහට විවිධ වංශක්කාර ධනවතුන්ට විකුණන වහල් වෙලන්දපොලවල් පවා තිබිලා තියෙනවා. ගොඩක්ම අප්‍රිකාව වගේ රටවල මිනිස්සු තමයි මේ වහල් වෙළඳාමේ ගොදුරු වෙලා තියෙන්නේ.

ඉතින් ඒ වහල් වෙළඳාමට හසු වුණු මිනිසුන් ඉතාමත් දුක්ඛිත ජිවිතයක් තමයි ගත කළේ. එයාලට මානව අයිතිවාසිකම් කියලා දෙයක් තිබුනේ ම නැති තරම්.

යම් කිසි රටක් තවත් රටක් ආක්‍රමණය කලාම එහි මිනිසුන් මේ වගේ වහලුන් විදිහට තමන්ගේ රටට අර ගෙන ගිහින් තියෙනවා. ඒ ඒ රටවල් අනුව මේ වහලුන්ට සලකපු ආකාරය වෙනස් වුනත් ඒ කිසිම සැලකීමක් හොඳ මානුෂිය ඒවා නොවුණු බවට තමයි ඉතිහාසය සාක්ෂි දරන්නේ.

අද නම් මේ වහල් වෙළඳාම කියන දේ බොහෝ දුරට අඩු වෙලා තියෙනවා.

මාර්තු 25 වෙනි දා ට යෙදෙන තවත් දවසක් තමයි නූපන් දරුවන් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය හෙවත් International Day of the Unborn Child. දරුවෙක් අම්මා කෙනෙක් ගේ කුසට ආපු දවසේ ඉඳලා ඒ කෙනා ජීවියෙක් විදිහට තමයි සලකන්නේ. ඉතින් ඒ කුස ඇතුලේ ඉන්න දරුවා වෙනුවෙනුත් මේ දවසක් වෙන් කරලා තියෙන්නේ ඒ දරුවන්ගේ පෝෂණය සහ එයාලව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් සමාජයට තියෙන වගකීම ගැන දැනුවත් කරන්න.

ගැහැණු ළමයෙක් අම්මා කෙනෙක් වෙන්න ඉන්නකොට එක ඒ ගෙදර අය හැමෝටම ලොකු වගකීමක්. ඒ වගේම තමයි ඒ ගැහැණු ළමයා එක්ක වැඩ කරන අනෙක් අයටත් ඒ නූපන් දරුවා නිරෝගිව බිහි කරන්න උදව් වෙන්න වෙනවා.

ඒ දේවල් සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි අද දවස නම් කරලා තියෙන්නේ.

ඉතින් අද දවස ලස්සන දවසක්. මේ සතියේ පලවෙනි දවස ඉතාම සතුටින් එහෙනම් ගත කරන්න අමතක කරන්න එපා.

ජය වේවා! තෙරුවන් සරණයි!