කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබේ

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කරනුන් ලැබුවා.

මෙම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆ්ට් කණ්ඩායමකගේ සහාය ලබා දීමට නියමිතය.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පුර්ණ සහාය ලබා දෙන බවයි.

මෙම වැඩසටහන 2025 වසර තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේය.