ලිවීමෙන් මතක ශක්තිය වැඩි වන බවට අනාවරණයක්

ටයිප් නොකර පෑනක් හෝ පැන්සලක් භාවිතයෙන් අතින් ලිවීම හරහා පුද්ගලයන්ගේ ඉගෙනීම සහ මතකය වැඩි කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

යතුරුපුවරුවකින් ටයිප් කරන සහ පෑනකින් ලියන පුද්ගල කණ්ඩායම් දෙකක් යොදා ගනිමින් සිදු කරන ලද පරීක්ෂණයක දී මෙය අනාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මොළයේ ක්‍රියාකාරීත්වය මැනීම සඳහා සංවේදක සවිකර ඇති තොප්පි පැළඳ සිටීම නිසා මෙම පුද්ගලයන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වයන් විද්‍යාඥයන්ට පහසුවෙන් මෙහි දී නිරීක්ෂණය කළ හැකි වූවා.

අතින් ලිවීමේ දී මොලයේ ස්නායු හරහා විද්‍යුත් ක්‍රියාවලි විශාල ප්‍රමාණයක් සිදු වන අතර එය වඩාත් හොඳ මතකයක් ගොඩ නගා ගැනීමට ඉවහල් වන බවයි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සේවය කරන ස්නායු විද්‍යාඥ රමේෂ් බාලසුබ්‍රමනියම් පවසන්නේ.

අතින් ලිවීමේ දී මොලයේ චලනයට අදාළ කොටස මෙන්ම ඉගෙනීම සහ මතකයට අදාළ කොටස ද යම් ආකාරයට උත්තේජනය වන බව මෙම පරික්ෂයේ දී පෙනී ගොස් තිබෙනවා.