රාත්‍රී ආර්ථිකයක් හරහා විදේශ විනිමය 70%කින් ඉහළ දැමිය හැකියි – ඩයනා

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ රාත්‍රී කාලයේ දී සංචාරකයන් වෙනුවෙන් මෙන්ම දේශීය පුද්ගලයන් සඳහා ද විනෝදාස්වාද ක්‍රියාකාරකම් මෙන්ම අවන්හල් විවෘතව තැබීම හරහා ද විශාල වශයෙන් ආදායමක් උපයා ගත හැකි බවයි.

ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා.

“ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.

ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කළද ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.