අග්‍රාමාත්‍යවරයා සහ ස්විට්සර්ලන්ත තානාපතිවරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ස්විට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී පැරිස් කණ්ඩායමේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විධිවිධාන සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳව ස්විට්සර්ලන්තයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගත කිරීම් මෙන්ම ඉක්මන් ප්‍රතිසන්ධානය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ස්විට්සර්ලන්ත තානාපතිවරිය දැනුවත් කළේය.

එසේම ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් තානාපතිවරිය රජයට සුබ පැතූ අතර සාමය, ස්ථාවරත්වය සහ ප්‍රතිසන්ධාන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වූවා.

හම්බන්තොට ආරබොක්ක ප්‍රදේශයේ අලුතින් සැලසුම් කර ඇති ඖෂධ කලාපයේ හවුල් ව්‍යාපාර ලෙස ඖෂධ කම්හල් පිහිටුවීම සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා ස්විට්සර්ලන්තයෙන් ඉල්ලා සිටියේය. 2050 වසර වන විට විකල්ප බලශක්ති අනුපාතය 70% දක්වා ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණය සම්බන්ධ ක්‍රියාකාරී න්‍යාය පත්‍රයට පුනර්ජනනීය බලශක්තියේ නව ආයෝජන බෙහෙවින් උපකාරී වනු ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මේ අතර මහනුවර නව දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් තානාපතිවරිය දැනුවත් කරනු ලැබුවා.

හරිත බලශක්තිය සහ දේශගුණය ආශ්‍රිත සැලසුම් සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීමට ස්විට්සර්ලන්තය සලකා බලන බවට තානාපතිවරිය මෙහිදී සහතික විය.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රැක්ස් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.