දරුණු ගැටුම් මැද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් බේරා ගැනේ

ගාසා තීරයේ රෆා නගරයෙහි සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී ඊශ්‍රායල-ආජන්ටිනා ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු බේරා ගත් ඊශ්‍රායල හමුදා සඳහන් කරනවා.

60 හැවිරිදි ප්‍රනාන්දු සයිමන් මාමන් සහ 70 හැවිරිදි ලුවී හර් වන මොවුන් දෙදෙනා නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි වාර්තා වෙන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ රෆා හි ගොඩනැගිල්ලක දෙවන මහලේ සිටිය දී මොවුන් සොයා ගත් බවයි.

මේ අතර ඊශ්‍රායලය විසින් දකුණු ගාසාන් නගරයට සහ රෆා නගරයට දැඩි ලෙස ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිලියන 1.5 ක ජනතාවක් රෆා හි නවාතැන් ගෙන සිටින අතර මෙම ප්‍රහාර හමුවේ බොහෝ මිනිසුන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන බවයි හමාස් සංවිධානය විසින් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.