අද පෙබරවාරි දහතුන්වනදා, අඟහරුවාදා

හිරු නැගීම – 06:26
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:20

අද අඟහරුවාදා දවසක්. ඉතින් අපි මේ ඉන්නේ 2024 අවුරුද්දේ 44 වෙනි දවසේ වගේම අවුරුද්දේ හත්වෙනි අඟහරුවාදා දවස.

කාලය හරිම ඉක්මනට යනවා නේද.. එහෙම තමයි, තව ටික දවසකින් ම වගේ මේ මාසෙත් ඉවර වෙයි.. ඉතින් ඔයා හරි පාරේ යනවද මේ ටිකේ? පොඩි වෙලාවක් අර ගෙන හිතලා බලන්න ඒ ගැනත්.

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද තමයි ලෝක රේඩියෝ දිනය. එදා වගේම අදත් රේඩියෝ එක කියන්නේ සරල ආකාරයේ වින්දනයක් ලබා ගන්න පුළුවන් දෙයක්. 1895 වසරේ දී Guglielmo Marconi මහත්තයා තමයි රේඩියෝ එක හඳුන්වලා දුන්නේ. රේඩියෝ තරංග භාවිතයෙන් කරන ලද පරීක්ෂණ මාලාවක ප්‍රතිඵලක් විදිහට තමයි ඒ තරංග උපයෝගී කර ගෙන මෙහෙම පණිවිඩ හුවමාරු කර ගන්න හැකියාව ලබා ගන්නේ. 1910 දී තමයි මෙහෙම හදපු wireless systems ගොඩක් එකතු වෙලා හදන radio එකක් මුල් වතාවට එලි දැක්වුවේ.

අද වුණත් අපි කොහේ හරි යනකොට එහෙම රේඩියෝ එකක් නේ දාන්නේ අපේ පාලුවට. TV නැති කාලේ නම් කට්ටිය මුවන්පැලැස්ස වගේ නාට්‍ය පවා රසවින්දා මේ රේඩියෝ එක හරහා.

රේඩියෝ එකෙන් අපිට ඇහෙන්නේ ශබ්දය විතරක් නිසා එහෙම නාට්‍යයක් බලනකොට අපි අපේ සිතේ මවා ගන්න චිත්තරූප එකිනෙකට වෙනස්. අපි ඒ ඒ චරිත අඳුර ගන්න විදිහ, ඒ සිදුවීම් දිහා බලන විදිහත් එකිනෙකාට අනන්‍ය වෙනවා. ඒ නිසා රේඩියෝ එකකට පුළුවන් එකම දේ වුණත් එකිනෙකට වෙනස් ආකාරයට වින්දනය කරන්න හැකි විදිහට අසන්නන්ට බෙදලා දෙන්න.

ඒ වගේම තමයි අද International Condom Day එක. මරු මරු දවස් නේ තියෙන්නෙත්. හිකිස්. ඒත් එහෙම විහිලුවකට ගත්තට condom කියන්නේ ගැහැණු සහ පිරිමි දෙගොල්ලොම දැනගත යුතු මාතෘකාවක්. ඉස්සෙල්ලම condom එකක් හොයා ගෙන තියෙන්නේ ඉතාලි වෛද්‍යවරයෙක් වෙන Gabriele Fallopius කියන කෙනා. එයා මේ කොන්ඩම් හදලා තියෙන්නේ linen කියන රෙදි වර්ගයෙන්. පසුකාලීනව රබර් වල්කනයිස් කිරීමේ ක්‍රමවේදය එහෙම හොයා ගත්තට පස්සේ තමයි දැන් තියෙනවා වගේ latex condom නිෂ්පාදනය වෙන්න අරන් තියෙන්නේ.

දැන් පිරිමි condom සහ ගැහැණු condom කියලා වර්ග දෙකක් වෙළඳපොළට ඇවිත් තියෙන නිසා දෙපාර්ශවයටම ලේසියෙන් ආරක්ෂාකාරීව ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න පුළුවන්. condom එකක් කියන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග හෙවත් STI පවා බෝ වීම අවම කරන දෙයක්. condom එකක් හරහා අනෙක් පුද්ගලයාගේ ලිංගික ශ්‍රාවයන් අපේ ලිංගික ඉන්ද්‍රියයන් හා ගැටීම වැලැක්වීම නිසයි එහෙම රෝග බෝ වෙන එක අවම වෙන්නේ.

වර්තමාන සමාජයේ යම්තාක් දුරට දැන් නම් condom ගැන අවබෝධයක් තිබ්බට ගොඩක් අයට තියෙන්නේ අසම්පූර්ණ අවබෝධයක්. මේ condom එකක් අපි එක පාරයි නේ use කරන්නේ. ඒ කියන්නේ ඔයා ඉස්සරහ පාරට දාල ඊට පස්සේ පස්ස පාරට දාන්න යනවා නම් (සහ එකේ අනික් පැත්තට නම්) වුණත් ඔයා condom දෙකක් use කරන එක වැදගත් වෙනවා. (එකක් ඉස්සරහට අනික පස්සට) ඉතින් එන්න ඒ වගේ දන්නා condom වල නොදන්නා දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න තමයි මේ වගේ දවසක් නම් කරලා තියෙන්නේ.

ඔන්න ඉතින් හැමෝම දන්නවා නේ පෙබරවාරි 14 කියන්නේ valentines day කියලා. ඔන්න පෙබරවාරි 13 තියෙනවා Galentine’s Day එක. ඒ කියන්නේ ඔයාගේ හොඳම මිතුරිය සැමරීමේ දිනය. ඉතින් ඔයාගේ ජිවිතේ ලස්සන කරන ගැහැණු අයට ආදරෙයි කියන්න අද හොඳ දවසක්. ඕනිම කෙනෙක්ගේ ජිවිතේ අම්මා, සහෝදරිය, සහ මිතුරියන් කියන්නේ ලොකු බැඳීමක් තියෙන කට්ටිය. ඉතින් ඒ අය සමරන්න තමයි අද දවස වෙන් කරලා තියෙන්නේ.

එහෙනම් අද දවසත් ලස්සනට සතුටින් ගත කරන්න. අද නිදා ගන්න කලින් දවසේ වුණු දේවල් මතක් කරලා ඒවා හිතින් අයින් කරලා නිදහසේ නිදා ගන්න..

මතක තියා ගන්න හැම උදෑසනක් කියන්නෙම අලුත් දවසක්

ජය වේවා! තෙරුවන් සරණයි!