උරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු 10,000 සකස් කර අවසන්

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පවසනවා.

එම සින්නක්කර ඔප්පු මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි එහි ලේකම් ඒච්. ඒම්.බී.පී. හේරත් මහතා සඳහන් කළේ.

උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සියළුම ඔප්පුලාභීන්ට ප්‍රවාහන හා ආහාර සඳහා අවශ්‍ය කරන මුල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත ලබාදී ඇති අතර, ඔවුන්ට කිසිඳු අපහසුතාවකින් තොරව මෙම උත්සවයට සහභාගීවීමට පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබාදීම මෙහිදී සිදු කරනු ලබනවා.