විදුහල්පති සේවයේ ගැටළු විසඳන කමිටු වාර්තාව ඇමති අතට

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු‍ විසඳීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

අදාළ වාර්තාවේ ප්‍රධාන කරුණු 06ක් ඔස්සේ ගැටලු අධ්‍යයනය හා අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා..

විදුහල්පති සේවාව පිළිගත් වෘත්තීයක් ලෙස දියුණු කිරීම, විදුහල්පති සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීම, සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර අනාගතයට සුදුසු පරිදි ව්‍යුහගත කිරීම, විදුහල්පති කාර්යභාරය, වගකීම් හා වගවීම්, විදුහල්පතිවරුන්ගේ වැටුප් දීමනා වරප්‍රසාද හා කුසලතා වර්ධනය සඳහා අවස්ථා සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය යන කරුණු එහි අන්තර්ගත කර තිබෙනවා.

දැනට 16,000කට අධික නිලධාරීන් පිරිසක් සිටින විදුහල්පති සේවයේ iii, ii, i ශ්‍රේණිවලට අයත් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා උප විදුහල්පතිවරුන්ගේ සේවා අභිවෘද්ධිය හා පාසල් පද්ධතියේ නව අවශ්‍යතා සලකා විදුහල්පති අධිශ්‍රේණියක් ඇති කිරීමට ද එහි දී නිර්දේශ කර තිබෙනවා.

තවද වැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6000.00 සිට රුපියල් 15000.00 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම්, වාහන, නිවාස ඇතුළු ප්‍රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීම ද මෙම කමිටු නිර්දේශ අතර වනවා.