ප්ලාස්ටික් කොසු සහ ඉදල් ආනයනය නතර කිරීමේ යෝජනාවක්

විශාල පරිසර දූෂණයකට ඉවහල්වන ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව ඒ සම්බන්ධයෙන් අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මානප්පෙරුම මහතා අවසුවේ.

එසේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ලන්චීෂීට් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

ලන්චීෂීට් භාවිතය තහනම් කිරීමට කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දුන් අතර ලන්චීෂීට් නිපදවන්නාට ඒ සඳහා අනුගත වීම සඳහා මාස හයක සහන කාලයක් ලබාදීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.