එජාප ගාලු දිස්ත්‍රික් සම්මේලනය මේ සෙනසුරාදා

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය ගාල්ල නගර ශාලාවේදී හෙට (13) පෙරවරු 9ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කරන එජාප සම්මෙිලන මාලාවේ පළමුවැන්න මෙයයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයට එක්සත් ජාතික පක්ෂ නායකයෝ ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතා නියෝජිතයෝ ද සහභාගී වන බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනයෙන් පසු හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික් සම්මේලන 14 වැනිදා ද රත්නපුර දිස්ත්‍රික් සම්මේලනය 15 වැනිදා ද පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙනුත් මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සම්මේලන මාලාව සංවිධානය කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ.