ලංකා සිම්බාබ්වේ අවසන් එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග තුනකින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමි කර ගනු ලැබුවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර ගනු ලැබුවා.

අවස්ථා කිහිපයකදී ම වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදුවිය.

වර්ෂාවේ බාධා මැද සිය ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණි.

වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට තීරණය විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 07ක් බිඳ දැමීමට සමත් වූ අතර එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරගයක දැක්වූ දෙවන හොඳම පන්දුයැවීම ලෙසින් වාර්තා අතරට ද එක්වුණා.

නායක කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුළ නොදැවී ලකුණු 66ක් රැස් කර ගනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 97ක් ලබා සිය ජයග්‍රාහණය වාර්තා කරනු ලැබුවා.