දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි

පුනානි සහ වාලච්චේන දුම්රිය ස්ථාන අතර මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මඩකලපුව ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් අද (11) කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කිරීමට සිදුවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේම හෙට (12) පෙරවරු 6.05ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන උදයදේවි සීඝ්‍රගාමී දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ද අවලංගු කර තිබේ.

ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ ද මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවී තිබුණි.