ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල 100% කින් ඉහළට

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබෙන බවයි ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේ.

ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.

වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

රෝගී ජනතාව වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණිම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් ද 2024 සිට ක්‍රියාත්මක බවයි සඳහන් වෙන්නේ.

මාසික ආදායම ලක්ෂ 2කට අඩු පුද්ගලයින්ට ද ජනාධිපති අරමුදල මගින් මාසිකව වෛද්‍යාධාර ලබාගත හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කර තිබෙනවා.