VAT සමඟ 18% කින් ඉහළ නගින ජංගම දුරකථන මිල

VAT පැනවීමත් සමඟ ජංගම දුරකථන මිල ලබන මාසයේ සිට 18%කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් පෙන්වා දෙන්නේ ජංගම දුරකතනය ද වැට් වලට යටත් කිරීම ඊට හේතුව වන බවයි.

මේ අතර ජංගම දුරකථන ආනයනකරුවන්, විකුණුම්කරුවන් මෙන්ම මෙරට ප්‍රධාන ජාත්‍යන්තර දුරකතන සමාගම්වල මැදිහත්කරුවන් හා නියෝජිතයන් සමග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

නීතිවිරෝධි ජංගම දුරකථන ආනයනය නිසා බිලියන 3.1 ක බදු ආදායමක් දැනටමත් අහිමිවන අතර නව බදු පැනවීමෙන් එම ප්‍රමාණය රුපියල් බිලියන 11. 9 දක්වා ඉහළ යනු ඇති බවයි එහිදී සඳහන් වී ඇත්තේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් තොරව ජංගම දුරකතන වෙළෙඳපොළට පැමිණීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ අඩු මිලට දුරකතන මිලදී ගැනීමට පාරිභෝගිකයින් ව්‍යාජ වෙළෙඳපොළ කරා යොමු වනු ඇතැයි ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන් රජයට අනතුරු අඟවා තිබෙනවා.