වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත කොළොන්නාව, සංහිඳ සෙවණ මහල් නිවාසයේ කළ වැටලීමකින් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (17) අලුයම සිදු කළ එම විශේෂ මෙහෙයුම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළුව පොලිස් නිලධාරීන් 156ක්, යුද හමුදා සෙබළුන් 154 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 16 දෙනෙකුද එක් වී ඇත.
මේ සඳහා ඩ්‍රෝන යානා සහ පොලිස් නිල සුනඛයින් ද දායක කර ගෙන තිබෙනවා.
එසේම එය අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
මෙහි දී එම නිවාස සංකීර්ණයේ නිවාස 165ක පුද්ගලයින් 625 දෙනෙකු පරීක්ෂාවට ලක් ව තිබෙන අතර ඉන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් 42න් 25 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් 17 දෙනා සතු ව තිබී හෙරොයින්, අයිස්, ගංජා සහ මත්පෙති සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව තියුණු ආයුධ සහ කඩු කිහිපයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

