අක්කර බදු අය කිරීම නවතයි

කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

අද (12) පෙරවරුවේ සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

අක්කර බදු යනු කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි.

එය සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අය කරගන්නා අතර පසුව එය රජයේ ආදායමට බැර කරනු ලබයි.

අක්කර බදු වශයෙන් අය කරගන්නා මුදල තවදුරටත් අය කිරීම අවශ්‍ය නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සඳහන් කර තිබෙනවා.

මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් ඒවා එකතු කිරීමට වැය කිරීමට රජයට සිදුවී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.