ටොනාඩෝවක් හේතුවෙන් ඇමරිකාවේ හයක් මරුට

සෙනසුරාදා ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ (Tennessee) ප්‍රදේශ කිහිපයක් හරහා ඇති වූ ටොනේඩෝ සහ දරුණු කුණාටු තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මිය ගිය අය අතර එක් කුඩා දරුවෙක් ද වන බවයි සඳහන් වෙන්නේ.

එසේම සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 23දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රාන්තයේ නිවාස වලට ද බොහෝ අලාභ හානි සිදු වී තිබෙනවා.

මෙම කුණාටුව හේතුවෙන් සෙනසුරාදා රාත්‍රියේ සිට ඉරිදා දක්වා එම ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබුනු අතර ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක කිරීමට නගරයේ නගරාධිපති ජෝ පිට්ස් පියවර ගනු ලැබුවා.

මෙම ටොනාඩෝ තත්ත්වය හේතුවෙන් ඊයේ රාතියේ පුද්ගලයන් 60,000කට පමණ විදුලිය විසන්ධි වීමක් ද සිදු වී තිබෙනවා.