ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වසරේදීපමණක් රුපියල් බිලියන 07ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබෙනවා.
එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත ඊයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබිණි.
රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර තිබෙනවා.
අදාළ රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණු අතර එම මුදලින් රුපියල් මිලියන 100ක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීම සඳහා එම අවස්ථාවේදීම ලබාදීමට පියවර ගෙන තිබුණා.
මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුනද එක් වර්ෂයක් තුළදී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වෙන්නේ.

