පොලිස්පති විශ්‍රාම යයි

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වෙත ලබා දී තිබූ තුන්වන සේවා දිගුවද මේ වන විට අවසන් වී තිබෙන අතර ඔහු සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදායි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම කාලය අවසන්වීමෙන් පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී තවත් මාස 3ක සේවා දිගුවක් ලබා දීමට පියවර ගැනිණි.

තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් පසුගිය ඔක්තෝබර් 13වනදා සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් අතර සිව්වන වරට ලබාදුන් සේවා දිගුව නොවැම්බර් මස 3 වනදා සිට ඊයේ දිනය දක්වා ක්‍රියාත්මක විය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මෙලෙස සේවා දිගු හිමිව තිබුණේ ඔහුගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබු පසුබිමක වීම විශේෂත්වයක්.

මෙසේ වික්‍රමරත්න මහතා විශාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස්පති ධුරය සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.