ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වියදම් සාරංශයක් ඇතුළත් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අදාළ මුදල් වියදම් කළ ආකාරය හෙළිකරන ලෙස කළ අභියෝගයෙන් පසුවයි.

අදාළ නිවේදනය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් 28 කෝටි 99 ලක්ෂ අනූදහසක මුදලක් ලබාදී ඇති අතර මේ වනවිට එම මුදලෙන් රුපියල් 25 කෝටි 73 ලක්ෂ 49,179ක මුදලක් වැයකර තිබෙනවා.

ක්‍රීඩා අරමුදල සතුව තිබූ මුදල් ශේෂයක්ද සමගින් තවත් රුපියල් 03 කෝටි 26 ලක්ෂ 40,821ක මුදලක් ඉතිරිව තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්.

අදාළ වියදම් සාරාංශයට අනුව පැරාලිම්පික් පදක්කම්ලාභීන්ට ත්‍යාග මුදල් ලබාදීම, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ කණ්ඩායම්වලට මූල්‍ය අනුගහය දැක්වීම, ජාතික ක්‍රීඩා අරමුදලේ වැඩසටහන් සඳහා වියදම් දැරීම සහ ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගීවූ කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම ආදි කාර්යන්වලට මෙම මුදල් වියදම්කර ඇත.