දීපාවලි උත්සවය අද

ලොව පුරා වෙසෙන හින්දු භක්තියන් මහත් බැතියෙන් සමරනු ලබන දීපාවලි උත්සවය මේ වසරේ අද දිනට යෙදී තිබෙනවා.

හින්දුන්ගේ ශාස්ත්‍රීය වේද වලට අනුව දීපාවලි දිනයේ සිදු වූ වැදගත් සිදුවීම් තුනක් අරමුණු කර ගෙනයි ඔවුන් මෙලෙස පහන් දල්වමින් උත්සව සමරන්නේ.

හින්දූන්ගෙන් එක් පිරිසක් විශ්වාස කරන ආකාරයට රාමා කුමරු, ඔහුගේ සහෝදරයා ලක්ෂමන් කුමරු සහ ඔහු ගේ බිරිඳ වන සීතා දේවිය වසර 14ක වන වාසයෙන් අනතුරුව අයෝධ්‍යා නගරයට යළි පැමිණිය දිනය ලෙස දීපවාලි සමරනු ලබනවා. ඔවුන් සිය පියා වන දශරථ රජුගේ අභාවයෙන් අනතුරුව යළි නගරයට පැමිණෙන විට නගර වැසියන් මාර්ග දෙපස පහන් දල්වා ඔවුන් පිළිගත් බවයි සඳහන් වෙන්නේ.

Celebrating Diwali- The Festival of Lights
රාම කුමරු, ලක්ෂමන් සහ සීතා සමඟ අයෝධ්‍යාවට පැමිණීම

එසේම දීපාවලි උත්සවයට සම්බන්ධ තවත් පුරාවෘත්තයක් වනුයේ ධනය හා සෞභාග්‍යයේ හින්දු දේවතාවිය වන ලක්ෂ්මි දේවතාවිය සුරයන් සහ අසුරයන් එක්ව කිරි සයුර කැළඹීමේ දී මතු වීමයි. අමෘතය සොයා කළ මෙම මෙහෙයුමේ දී වස්තු දහයක් කිරි සයුරෙන් මතු වූ අතර නෙලුම් මලක් උඩ විරාජමාන වූ ලක්ෂ්මි දේවිය ඉන් එකක් වනවා.

අද දිනයේ බොහෝ පිරිසක් සෞභාග්‍ය සහ සමෘද්ධිය තකා ලක්ෂ්මි දේවිය වෙනුවෙන් පූජා පවත්වනු ලබනවා.

Kumbha Mela and the Reestablishment of India's Truth and Power in the ...
කිරි සයුර කැළඹීමේ දී ලක්ෂ්මි දේවිය ගේ ආගමනය

එසේම තවත් පිරිසක් විශ්වාස කරන්නේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාර වලින් එකක් වන ක්‍රිෂ්ණ අවතාරය විසින් නරකාසුර නම් යක්ෂයා පරාජය කිරීම දීපාවලි දිනක සිදු වූ බවයි. මිනිසුන්ට පීඩා කරමින් ඔවුන්ව මරා දැමූ මෙම යක්ෂයාව ක්‍රිෂ්ණ විසින් විනාශ කර යළිත් මිනිසුන්ගේ ජීවිත ආලෝක කිරීම සිහිපත් කිරීමට මෙලෙස පහන් දල්වා උත්සව පවත්වනු ලබනවා.

Sree Krishna Pictures | Hindu Devotional Blog
ක්‍රිෂ්ණ විසින් නරකාසුරගෙන් මිනිසුන් ආරක්ෂා කිරීමට ගෝවර්ධන පර්වතය දරා සිටීම

මේ කුමන විශ්වාසයක් වුවත්, අන්ධකාරය හෙවත් නපුර පරදවමින්, ආලෝකය එනම් යහපත ජය ගැනීම යන්න ප්‍රධාන වශයෙන් සංකේතවත් කරනු ලබනවා.

දීපාවලි දිනයේ දී හින්දූන් ආගමික කටයුතු වලට මුල් තැනක් දෙමින් කරයුතු කරන අතර, ගිනිකෙළි, පහන් දැල්වීම ආදිය එහි විශේෂ අංග වනවා. එසේම ඔවුන් විසින් විවිධ ආහාර සෑදීම, රන්ගෝලි හෙවත් කෝලම් රටා දැමීම, එකිනෙකා අතර තෑගී හුවමාරු කර ගැනීම ආදිය ද සිදු කරනු ලබනවා.

ඔබ සැමට ප්‍රීතිමත්, සෞභාග්‍යමත් දීපාවලි දිනයක් වේවා.!