නිවාඩු අවලංගු කළත් තැපැල් සේවකයෝ වර්ජනයේ

ඊයේ තැපැල්පති විසින් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු දින තුනක් සඳහා අවලංගු කරන බව ප්‍රකාශ කළත්, පෙර සැලසුම් කළ ලෙසටම තැපැල් සේවකයන් විසින් සිය වර්ජනය දියත් කොට තිබෙනවා.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් අහෝසි කරන ලෙස බල කරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි ඒකාබද්ධ තැපැල් පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ‍.

ඒ අනුව මෙම වර්ජනයට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 48 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා සඳහන් කර ඇත්තේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවත් ය.

එසේම මෙම ගොඩනැගිලි වෙනුවට නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් සහතික වී ඇති බවත් ය.