HIV ආසාදිතයන්ගේ සීඝ්‍ර ඉහළ යෑමක්

මේ වසරේ ගත වූ මාස 09ක තුළ නව HIV ආසාදිතයන් 485 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කරනවා.

මෙම වාර්තා වීම පසුගිය වසර කිහිපයට සාපේක්ෂව ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ අතරින් ආසාදිතයන් 80%ක් පමණ පිරිමින් වන බවත්, එයිනුත් බහුතරය අවුරුදු 15 – 49ත් අතර වයස් සීමාවේ පසුවන අය බවත් හඳුනා ගෙන තිබෙනවා.

එසේම දෙසැම්බර් පළමු වැනි දිනට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන අතර විදානපතිරණ මහත්මිය ඉල්ලා සිටින්නේ HIV පරීක්ෂාවක් සිදු කර තමන් ආරක්‍ෂිත ද යන්න තහවුරු කර ගන්නා ලෙසයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුයුක්ත දිවයින පුරා ජාතික ලිංගාශ්‍රිත රෝග සායන 40ක් ඇති අතර Know4Sure යෙදවුම භාවිතා කොට HIV පරීක්ෂාවක් සිදු කිරීම සඳහා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද සලසා දී තිබෙනවා.