ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීමේ යෝජනාවක් රජය විසින් ගෙනවිත් තිබෙනවා.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු දැනට තැන්පත් කළ යුතු රුපියල් 50,000 ක මුදල රුපියල් ලක්ෂ 26 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.
එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයෙකු මෙතෙක් තැන්පත් කළ යුතු රුපියල් 75,000ක් වූ ඇප මුදල රුපියල් ලක්ෂ 31 දක්වා වැඩි කිරීමටද යෝජිතයි.
පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇති රුපියල් ලක්ෂ විසි හයක මුදලින් රුපියල් ලක්ෂ 25 ක් ආපසු ගෙවන මුදලක් ලෙසද ඉතිරි රුපියල් ලක්ෂය ආපසු නොගෙවන ඇප මුදලක් ලෙසද තැන්පත් කළ යුතු වනවා.
එමෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු මුදලින් රුපියල් ලක්ෂ 31 ක ඇප මුදලින් ලක්ෂ 30 ක් ආපසු ගෙවීමට යි යෝජනා වී ඇත්තේ.

