මාස 9 ට ෆේස්බුක් පැමිණිලි 23,534 ක්

2023 වසරේ ගත වූ මාස 9 තුළ පමණක් ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි 23,534 ක් ලැබී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මින් පැමිණිලි 70% ක් ම ලැබී ඇත්තේ කාන්තාවන්ගෙන් බවයි සඳහන් කරන්නේ.

එසේම රැකියා ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචා සම්බන්ධ පැමිණිලි ද, පිරමීඩ වංචා පිළිබඳ පැමිණිලි ද ඊළඟට වැඩිපුර ලැබී තිබෙනවා.

වැඩිපුරම පැමිණිලි ලැබී ඇත්තේ මැයි මාසයේ වන බවත් එය ප්‍රමාණයෙන් 3328 ක් වන බවත් ඔහු පෙන්වා දෙනවා.

ෆේස්බුක් සම්බන්ධ යම් පැමිණිල්ලක් වේ නම් එය 101 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.