ලබන මස ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත G20 සමුළුවට තමන් සහභාගී නොවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දන්වා තිබෙනවා.
ඒ සඳහා රුසියාව නියෝජනය කරමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමුළුවට සහභාගි වන බව යි ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ.
මෙම දැනුම් දීම සිදු කරන අවස්ථාවේ දී දෙරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වන කලාපීය සහ ගෝලීය ගැටලු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කළ බව ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
එසේම රුසියාවේ මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිසි අවබෝධයක් ලබා ඇති බවත්, G20 සභාපතිත්වය දරන කාල සීමාව අතරතුර රුසියාව විසින් දක්වන ලද සහායටත් ස්තූතිවන්ත වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
ලෝකයේ ධනවත්ම රටවල් 19 සහ යුරෝපා සංගමයේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම G20 සමුළුව මෙවර එහි සභාපතීත්වය දරන ඉන්දියාවේ නවදිල්ලි නුවර ලබන සැප්තැම්බර් මස 9 සහ 10 යන දින වල පැවැත්වීමට නියමිත ය.

