යුක්රේන වරායකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්

රුමේනියාවට මඳක් දුරින් පිහිටි ඩැනියුබ් නදියේ ඉස්මයිල් නම් යුක්රේන වරායට රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් ධාන්‍ය ගබඩාවකට මෙන්ම ධාන්‍ය පැටවීම සඳහා භාවිතා කරන විදුලි සෝපානයකට හානි සිදු වී ඇති බවත්, අප්‍රිකානු රටවල්, චීනය සහ ඊශ්‍රායල වෙත යැවීමට නියමිතව තිබූ ධාන්‍ය ටොන් 40,000 කට පමණ විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවුණු බවයි එම ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයා සඳහන් කර තිබෙන්නේ.

රුසියාව මීට පෙර ද කළු මුහුදේ පිහිටි Odesa සහ Chornomorsk ආශ්‍රිත වරායන්ට පහර දීම හේතුවෙන් එහි තිබු ධාන්‍ය ටොන් 60,000 ක් පමණ විනාශ වුනා.

කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය කරන ගිවිසුමෙහි කාලය අවසන් වීමත් සමඟ රුසියාව යුක්රේනයේ වරායන් ඉලක්ක කර ගෙන ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළේ ය.