බංකොලොත් වීමට හේතු සොයන්න විපක්‍ෂයෙනුත් කමිටුවක්

රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුවට අමතරව විපක්ෂය විසින් ද විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපායමාර්ගයක් බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා පත්කිරීමත් සම්බන්ධව විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බව විපක්ෂනායකවරයා අවධාරණය කර තිබෙනවා

මේ නිසා විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටුවේ තීරණය අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රටේ ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු සහ ඊට වගකිව යුත්තන් පිළිබඳ සොයා බැලීමට තවත් කමිටුවක් පත්කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.