ආනයනික ඖෂධ බොහොමයක තත්ත්ව පරික්ෂා නොකෙරන බවට චෝදනා

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පසුගිය කාලයේ ආනයනය කරන ලද බොහෝ ඖෂධ රසායනාගාර තත්ත්ව පරික්ෂා වලට නිසි පරිදි ලක් කර නොමැති බව වෛද්‍ය වෘත්තිකයෝ චෝදනා කරනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ පසුගිය දා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජිවිතක්ෂයට පත් වූ තරුණිය ගේ මරණයට හේතු වුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද ප්‍රතිජීවක එන්නත භාවිතය තාවකාලිකව නතර කරවා වහාම රසායනික තත්ත්ව පරීක්ෂාවකට ලක් කළ යුතු බවයි.

එහි දී යම් හෙයකින් මෙම ඖෂධය භාවිතයට නුසුදුසු බව තහවුරු වුවහොත් එම ආනයනික සමාගම් කැඳවා ඒවා සියල්ල යලිත් ආනයනික රටටම යවා අදාළ එන්නත භාවිතයෙන් සිදු වූ හානිය එකී සමාගමෙන් ප්‍රතිපුර්ණ කර ගත යුතු බවයි මෙම සමාගම් අවධාරණය කරන්නේ.

කෙසේවතත් ශ්‍රී ලංකාවේ තවමත් මෙම ක්‍රියාවලිය අනුගමනය නොවන බවට ඔවුන් චෝදනා කරනවා.