තිරයේ ආක්‍රමණශීලී කඩවසම් තාරුණ්‍යය දිනෙන් දින චලනය වෙමින් තියෙන්නේ. නමුත් නිරහංකාර චරිත අපට හමු වන්නේ කලාතුරකින්. නිහතමානීත්වය තුළින් ජනප්‍රිය ඒ වගේම හරිම ඍජුව වැඩ කරන රංගන ශිල්පියෙක් විදිහට ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හඳුන්වන්න පුළුවන්.
මේ ඉසුරු සතිඅන්ත පුවත්පතකට කියූ ඔහුගේ තතු විත්ති අතරින් කොටසක්.
ඔබ ආවේගශීලී චරිතයක් නේද?
ආවේගශීලී වගේ පේන්නෙ ඇයි දන්නවද? හැම කෙනාම හෙළුවෙන් ඉන්නකොට ඇඳුම් ඇදගෙන ඉන්න කෙනා වෙනම පේන්න ගන්නවා. අපේ රටේ හුරුවෙලා තියෙන්නෙ මට කියලා තට්ටු තුනේ ගෙයක් හදා ගත්තා, වාහනයක් ගත්තා දැන් මට ඉන්න පුළුවන් කියන මතයේ බොහෝ දෙනෙක් ඉන්නෙ. තමන්ගෙ වැඩ ටික කරගත්තට පස්සෙ අපේ මිනිස්සු කට වහගෙන ඉන්නවා. මම නම් හොඳ පිට කොන්දක් සහිත කෙනෙක්. ඒ නිසා පෝලිමේ ඉඳලා පෝලිමෙන් පිට පැන්නොත් මම කතා කරනවා. එන්න එන්න පෝලිමේ පස්සට යන්න කියනවා. ඕක තමයි ආවේගශීලියි වගේ පේන්නේ. එහෙම අය තමයි මේ රට වෙනස් කරන්න ඕනෑ කියලා අරගල කරන්නේ.
ඔබ හොඳ හඬ කැවීම් ශිල්පියෙක් නේද?
මම මුලින්ම සිරස නාලිකාවෙන් තමයි හඬ කවන්න ගත්තේ. මේ කාලයේ නම් හඬ කැවීම් කරන්න වෙලාවක් නැති ගානට වැඩ. හඬ කැවීම මගේ රංගනයට ලොකු පන්නරයක් වුණා.
අපේ රටේ බොහෝ රංගන ශිල්පීන්, ශිල්පිනියන් තරගෙට දික්කසාද වෙන්නෙ ඇයි?
ලංකාවේ කලාකරුවෝ බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ඉන්නෙ. හැබැයි ඈත ගමක කෙනෙක් දික්කසාද වුණොත් ඒක රටම දන්නෙ නැහැ. නමුත් ජනප්‍රිය කෙනෙක් වෙන් වුණොත් ඒක රටම දන්නවා. කොහොම නමුත් එකට ඉන්න බැරි නම්, ගහ මරා ගන්නෙ නැතිව, දරුවො අනාථ කරන්නෙ නැතිව වෙන්වෙලා යන එක හොඳයි. ඒකත් බුද්ධිමත්ව වෙන් වන්නයි ඕනෑ. කලාකරුවෝ වැඩියෙන් දික්කසාද වෙනවා වගේ පෙනුණාට සමාජය ඇතුළේ මේ ප්රශ්නය ඕනෑවටත් වඩා තියෙනවා. ඒවා ප්‍රසිද්ධ නැහැ.
පෙම්වතියට මොකද වුණේ?
මේ වෙන කොට මට ප්‍රේම සබඳතා හය හතක් තිබිලා බිඳ වැටිලා තියෙනවා. ඒත් හැමෝම දන්නෙ තරින්දිගෙ කතාව විතරයි.
මම කිව්වොත් ප්‍රේම සබඳතා සියයකින් හරි හරිම කෙනා හමුවුණොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන එක හොඳයි කියලා?
ඒක හරි. ඒත් බැඳලා අවුරුදු පනහක් එකට ඉඳලත් ඉන්න බැරි නම් පනස් එක් වැනි අවුරුද්දෙ වෙන් වුණාට කමක් නැහැ. මේ කාරණය සංස්කෘතිකයි. එක මිනිසෙක් නිර්මාණය වෙලා තියෙන්නේ තනියෙන් ඉන්න. දෙන්නෙක් එකට ඉන්නවා කියන්නෙ සංස්කෘතික කාරණයක්. මරා ගෙන එකට ඉන්නවට වඩා මම දකින්නෙ බුද්ධිමත්ව වෙන් වෙන එක හොඳයි. බුද්ධිමත්ව එකට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි.
රසඳුන

