ලොව පුරා බෞද්ධ බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
බෝධිසත්ත්වයන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය හා මව යන පස්මහ බැලුම් බලා දෙව් ලොවින් නික්ම මනුෂයෙක් ලෙස මහාමායා දේවියට හා සුද්ධෝධන රජතුමාට දාව ඉපදුනේ ද, බෝධිසත්ත්වයන් වහන්සේ දස මාර සෙන් පරාජය කරමින් ගෞතම නමින් උතුම් වූ බුද්ධත්වයට පත් වුයේ ද, ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ආයු සංස්කාර අවසන් කරමින් පිරිනිවනට පත් වුයේ ද අද වන වූ වෙසක් පොහෝ දිනක ය.
මෙම අසිරිමත් තෙමඟුල නිසාම වෙසක් පෝය දිනයට අනෙක් පෝයකට වඩා සුවිශේෂී තැනක් ලැබී තිබෙනවා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද, උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේ දී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයක්.
දන්සැල්, වෙසක් සැරසිලි හා තොරන් වැනි ආමිස පූජා මෙන් ම සිල් සමාදන් වීම්, භාවනා ආදී වූ ප්‍රතිපත්ති පූජාවන් රාශියක්ම අද දවස පුරා ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගෙන සිද්ධ වෙනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයේ ගැඹුරු හරයන් තේරුම් ගනිමින්, ධර්මයේ හැසිරෙමින් මේ වෙසක් සමය අර්ථවත්ව ගත කරන්නට වෙහෙසෙන්න කියලා අපි ඔබට මතක් කිරීමක් කරනවා.
තෙරුවන් සරණයි!

