පිහි පහරින් තරුණයෙකුට බරපතළ තුවාල

පෞද්ගලික මගී බස් රථයකදී ගැට කපන්නෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාළ ලැබූ තරුණයෙකු රෝහල්ගතකර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පිළියන්දල ප්‍රදේශයෙනි.

පිළියන්දල සිට කහපොල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ ගමන්ගත් ගැට කපන්නන් දෙදෙනෙක් කොටගෙදර ආසන්නයේදී මගියෙකුගේ ගේ මුදල් පසුම්බිය සොරා ගැනීමට උත්සාහ කිරීමේදී එය දුටු කොන්දොස්තරවරයා ඊට විරෝධය දක්වා ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක් ගැට කපන්නෙකු විසින් සඟවාගෙන සිටි පිහියකින් කොන්දොස්තරවරයාට පහරදීමට උත්සාහ කර ඇති බවය.

එහිදී ඔහුගේ සහායට ඉදිරිපත් වූ තරුණයෙකු එම ප්‍රහාරයට ලක්ව ඇත.

බරපතළ තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙහිදී කෝපයට පත් බස් රථයේ සිටි සෙසු මගීන් විසින් ගැට කපන්නන් දෙදෙනාට පහරදී ඇති අතර එක් අයෙකු ඔවුන්ගෙන් මිදී පලාගොස් ඇති අතර අනෙක් සැකකරු අල්ලා පොලීසිය වෙත භාරදී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.